මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ සිය මිත්‍ර රටවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රංශය සිය ප්‍රධාන ගුවන් යානා වාහක නෞකාව ඇතුළු යුද නැව් 12ක් පමණ මධ්‍යධරණී මුහුද, රතු මුහුද සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කළේය. සයිප්‍රසයේ සංචාරයක නිරත වෙමින් ඔහු අවධාරණය කළේ මිත්‍ර රටවලට එල්ල වන ඕනෑම තර්ජනයක් යුරෝපයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කරන බවයි.
විශේෂයෙන්ම ඉරානය සහ ඇමරිකාව අතර පවතින ගැටුම් හේතුවෙන් ලෝක තෙල් ප්‍රවාහන මාර්ග අවහිර වී ඇති අතර බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ යුරෝපීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සහ මුහුදු මාර්ගවල නිදහස් සංචලනය තහවුරු කිරීම ප්‍රංශයේ මූලික අරමුණ වී ඇත. මේ යටතේ ප්‍රංශය විසින් ‘චාල්ස් ඩි ගෝල්’ (Charles de Gaulle) ගුවන් යානා වාහක නෞකාව, තවත් යුද නැව් අටක් සහ හෙලිකොප්ටර් රැගෙන යන නෞකා දෙකක් කලාපය වෙත යොමු කරනු ඇත.
ප්‍රංශය මූලිකවම අවධානය යොමු කර ඇත්තේ හවුති කැරලිකරුවන්ගෙන් නෞකාවලට එල්ල වන ප්‍රහාර වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන ‘ඇස්පිඩීස්’ (Aspides) මෙහෙයුම ශක්තිමත් කිරීමටයි. ග්‍රීක අග්‍රාමාත්‍යවරයා ද මෙම මෙහෙයුම සඳහා වැඩි නැව් ප්‍රමාණයක් යොදවන ලෙස යුරෝපීය සගයන්ගෙන් ඉල්ලා සිටියේය. යුද්ධයේ දරුණුතම අවධිය අවසන් වූ වහාම වෙළඳ සහ තෙල් නැව්වලට ආරක්ෂිතව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ප්‍රංශයේ Escort (ආරක්ෂක පරිවාර) මෙහෙයුමේ ප්‍රධාන අරමුණ බව මැක්‍රෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














