නොරොච්චෝල ලක්විජය බලාගාරයේ යන්ත්‍රවලට බාල ගල් අඟුරු භාවිතය නිසා හානි සිදුව ඇති බවට පැතිර යන පුවත් අසත්‍ය බවත්, සැබෑ ගැටලුව පවතින්නේ ගල් අඟුරු ප්‍රමිතිය මනින ක්‍රමවේදයේ බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා පවසයි. බලාගාරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළේය. බලාගාර ඉංජිනේරුවන් විසින් දැනට භාවිත කරන යන්ත්‍රවලට කිසිදු හානියක් සිදුව නොමැති බව තහවුරු කර ඇති නමුත්, ආනයනය කළ ගල් අඟුරු නියමිත ප්‍රමිති පරාසයන් තුළ නොපවතින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ගල් අඟුරු තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ලබාගන්නා අහඹු සාම්පල විද්‍යාගාර වෙත යැවීමට කුරියර් සේවාවක් (Courier service) භාවිතා කිරීම ගැටලු සහගත බව කෝප් සභාපතිවරයා නිරීක්ෂණය කර ඇත. මෙම ක්‍රමවේදයේ පවතින අඩුලුහුඩුකම් හේතුවෙන් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ නිසි දත්ත ලබාගැනීමට බාධා පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය. මෙය අයුතු ලාභ අපේක්ෂාවෙන් හිතාමතා සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳව ඉදිරියේදී විමර්ශනය කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය ආරම්භ කළ අවස්ථාවේ සිට මේ දක්වා වූ සියලු තොරතුරු ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට පියවර ගන්නා බවත්, ජනතාවට බාධාවක් නොවන පරිදි විදුලි ජනනය සිදුකිරීමට අවශ්‍ය නව ක්‍රමවේද ස්ථාපිත කළ යුතු බවත් නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














