ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා රටවල් 15ක් පමණ සූදානමින් සිටින බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා පවසයි. ප්‍රංශයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම සැලසුම, ඉරානය සමඟ සම්බන්ධීකරණය වෙමින් සිදු කරන ආරක්ෂක මෙහෙයුමක් වනු ඇති බව ඔහු අද (08) ආරක්ෂක උපදේශකයින් සමඟ පැවති හමුවකදී සඳහන් කළේය.
ජනාධිපති මැක්‍රොන් මෙම සටන් විරාමය සාදරයෙන් පිළිගන්නා අතරම, ලෙබනනයේ පවතින තත්ත්වය තවදුරටත් අවදානම් සහගත බව පෙන්වා දුන්නේය. ප්‍රංශය සමඟ සමීප සබඳතා පවත්වන ලෙබනනය ද මෙම සාම ගිවිසුමට ඇතුළත් කර ගත යුතු බවත්, සටන් විරාමයේ සහනය ලෙබනනයට ද පූර්ණ වශයෙන් හිමි විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මෙම ජාත්‍යන්තර මැදිහත්වීම හරහා හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යළි ආරම්භ කිරීම ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වයට මෙන්ම ඉන්ධන මිල පාලනය කිරීමට ද ඉමහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග කලාපයේ ආතතිය සමනය කිරීම සඳහා යුරෝපීය බලවතුන් ගන්නා මෙම උත්සාහය ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ඇගයීමට ලක්ව තිබේ.















