ප්‍රංශයේ පැරිස් නුවර භූගතව පිහිටි සුප්‍රකට “කැටකොම්බ්ස්” (Catacombs) ඇටසැකිලි මන්දිරය, මාස පහක දැවැන්ත ආරක්ෂක සහ සංරක්ෂණ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු හෙට (08) සිට යළිත් සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතය. පැරිස් නගරයේ කාර්යබහුල වීථිවලට මීටර් 20ක් පහළින් පිහිටි මෙම අද්භූත මෙන්ම නිහඬ අධිරාජ්‍යය, 18 වන සියවසේ සිට මිලියන සංඛ්‍යාත පැරිස් වැසියන්ගේ අවශේෂ තැන්පත් කර ඇති අතිවිශාල ස්මාරකයක් ලෙස සැලකේ.
වසරකට ලක්ෂ 6කට අධික සංචාරක පිරිසක් පැමිණෙන මෙම ස්ථානය, වඩාත් ආරක්ෂිතව සහ වඩාත් සමීප අත්දැකීමක් (Immersive experience) ලබා ගත හැකි පරිදි නවීකරණය කර ඇත. ප්‍රංශ විප්ලවයේදී මියගිය නාඳුනන පුද්ගලයන්ගේ සිට ඉතිහාසයේ ප්‍රබල චරිත දක්වා වූ මළ සිරුරුවල ඇටසැකිලි සහ හිස්කබල් මෙහි හුණුගල් පවුරුවල තැන්පත් කර ඇති අතර, එය නගරයේ ඉතිහාසය සහ මතකය සුරකින පූජනීය ස්ථානයක් ලෙස ද පිළිගැනේ. හෙට සිට විවෘත වන මෙම භූගත ලෝකය නැරඹීමට පැමිණෙන අමුත්තන්ට පෙරට වඩා විධිමත් සහ සුරක්ෂිත සංචාරක අත්දැකීමක් හිමි වනු ඇත.














