මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම අවම කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුං අද (03) එකඟතාවයකට පැමිණියහ. ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය ආරක්ෂිතව පවත්වා ගෙන යාම සඳහා දෙරටේ සහයෝගීතාවය අත්‍යවශ්‍ය බව නායකයෝ අවධාරණය කළහ.
හමුවෙන් අනතුරුව පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මැදපෙරදිග පවතින ගැටුම් සමනය කිරීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රංශය සහ දකුණු කොරියාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි. දකුණු කොරියානු ජනාධිපතිවරයා ද එය අනුමත කරමින් කියා සිටියේ ආරක්ෂිත නාවික මාර්ගයක් තහවුරු කිරීම සඳහා දෙරටේ කැපවීම මෙහිදී ස්ථිර කළ බවයි.
කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඔවුන් අනුගමනය කරන නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී වැඩිදුර විස්තර අනාවරණය නොකළ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ගනු ලබන ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් ඉරානය මේ වන විටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. පවතින යුදමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම මත මෙම අර්බුදය විසඳා ගැනීමට උත්සාහ දරමින් සිටී.













