මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම සහ කාලසටහන් වෙනස් වීම නිසා ප්‍රංශ සංචාරකයන් 2,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිරවී සිටින බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළේය. අද (17) පැවැති “Pathfinder” උත්සවයකදී ඔහු පෙන්වා දුන්නේ ප්‍රංශය බලා යන බොහෝ ගුවන් ගමන් මැදපෙරදිග හරහා ගමන් කිරීමට නියමිතව තිබූ බැවින් පවතින ගැටුම්කාරී තත්ත්වය මෙම සංචාරකයන්ට සෘජුවම බලපා ඇති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළද, පවතින ආර්ථික පීඩනය හමුවේ එම ගුවන් ටිකට්පත් මිල අධික වීම නිසා සංචාරකයන්ට ගැටලු මතු වී ඇති බව තානාපතිවරයා සඳහන් කළේය. කෙසේ වුවද, හදිසි අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඔවුන් නැවත මෙරටින් පිටත් කර යැවීමට ප්‍රංශ තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සංචාරක බලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් සිටියි. අපහසුතාවයට පත් සංචාරකයන්ට සහය වීමට ශ්‍රී ලාංකිකයන් දක්වන කැපවීම පිළිබඳව ද තානාපතිවරයා සිය කෘතඥතාව පළ කළේය.
මෙම වසරේ මාර්තු 15 වන දා දක්වා ප්‍රංශ සංචාරකයන් 35,629 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රටවල් අතර ප්‍රංශය 6 වන ස්ථානයේ පසුවෙයි. මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 103 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට පාසල් ද ඉන්ධන පිරිමැසීම සඳහා විශේෂ උපදෙස් පිළිපැදිය යුතු බව රජය නිවේදනය කර ඇත.














