ඇමරිකාවේ ඇට්ලන්ටා හි හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් (Hartsfield-Jackson Atlanta International Airport) පිටත්වීමට සූදානම් වූ ෆ්‍රොන්ටියර් ගුවන් සේවයට (Frontier Airlines) අයත් F92539 දරන ගුවන් යානය තුළ සිටි මගියෙකු තමන් සතුව බෝම්බයක් ඇති බවට තර්ජනය කිරීමත් සමඟ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබේ. අදාළ මගියා අනෙකුත් මගීන්ව ඝාතනය කරන බවට පවසමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර, ඒ හේතුවෙන් ගුවන් යානය තුළ හදිසි ආරක්ෂක තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන්ට සිදුවිය.
ගුවන් පාලක මැදිරිය (ATC) වෙත ගුවන් නියමුවා විසින් යොමු කරන ලද හදිසි පණිවුඩයක හඬ පටයක් ද මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර, එහිදී “යානය තුළ බෝම්බයක් තිබිය හැකි බවත්, මගියෙකු අනෙක් පිරිස මරා දමන බවට තර්ජනය කරන බවත්” නියමුවා විසින් දැනුම් දෙනු ලබයි. එයාර් බස් A320 වර්ගයේ මෙම යානය පසුව ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර, එහි සිටි මගීන් සියලු දෙනා වහාම ඉවත් කර පරීක්ෂාවට ලක් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකටයුතු මගියාව ඇට්ලන්ටා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, යානය තුළ සැබවින්ම පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ක්‍රියාත්මක වේ. මෙම බෝම්බ තර්ජනය හේතුවෙන් ඇට්ලන්ටා ගුවන්තොටුපොළේ අනෙකුත් ගුවන් ගමන් ද යම් ප්‍රමාණයකට ප්‍රමාද වූ බව වාර්තා වේ.















