යක්කල කිරිඳිවැල පාරේ සල්මල් උයනෙහි පිහිටි පක්ෂ මූලස්ථානය තවදුරටත් භුක්ති විඳීමේ සහ අත්පත් කර ගැනීමේ අයිතිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (FSP) ඇති බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) තීන්දු කළේය.
2025 සැප්තැම්බර් මස 02 වැනිදා ජනතා විමුක්ති පෙරමුණට (JVP) සම්බන්ධ බව කියන කණ්ඩායමක් මෙම පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලනය තමන් යටතට ගැනීමට උත්සාහ කර තිබුණි. මෙම සිද්ධියෙන් පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම්වරයා සහ එහි අනුබද්ධ වෘත්තීය සමිති එක්ව, ප්‍රාථමික අධිකරණ ක්‍රියාපටිපාටි පනතේ 66 වැනි වගන්තිය යටතේ දේපළ අයිතිය තහවුරු කර දෙන ලෙස ඉල්ලා පුද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු 20 දෙනෙකු නම් කර තිබුණි.
මුලින්ම මෙම දේපළෙහි භාරකාරත්වය තාවකාලිකව පොලීසියට භාර දීමටත්, එහි සිටි පිරිස්වලට ඉවත් වන ලෙසත් අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි. මාස ගණනාවක නඩු විභාගයකින් අනතුරුව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ශිලානි පෙරේරා මහත්මිය අද (31) ප්‍රකාශ කළේ අදාළ දේපළ නීත්‍යනුකූලව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ එහි අනුබද්ධ වෘත්තීය සමිතිවලට අයත් වන බවයි. එසේම පසුගිය වසරේ සැප්තැම්බර් 02 වැනිදා එම පිරිස් ඉවත් කිරීම නීති විරෝධී බව පෙන්වා දුන් අධිකරණය, එම දේපළ නැවත පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත භාර දෙන ලෙස නියෝග කළේය.














