ජනතාව කලබල වී ඉන්ධන රැස් කිරීම (Panic buying) හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය සාමාන්‍ය අතට හරවා රට පුරා ඉන්ධන බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීමට දින තුනක්වත් ගතවනු ඇතැයි ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය (SLPPTOA) පවසයි. පෝය දිනය වන හෙට (02) දිනයේත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ඔවුන් සහතික කරයි.
ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන තොග නිකුත් කිරීම ආරම්භ කර තිබුණද, ඒවා ප්‍රවාහනය කර පිරවුම්හල් වෙත ළඟා වීමට කාලය ගතවන බව සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පෙන්වා දෙයි. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉන්ධන ලබාගන්නා ලෙසත්, කලබල නොවී කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.














