නිවෙස් තුළ අනාරක්ෂිත ලෙස ඉන්ධන රැස්කර තබාගැනීම විශාල අනතුරකට අතවැනීමක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අවධාරණය කරයි. නිවසක ඉන්ධන ස්වල්පයක් තිබුණද, ගින්නක් හටගතහොත් මුළු නිවසම විනාශ වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, දැනටමත් ඉන්ධන රැස්කරගෙන සිටින පිරිස් වෙත දැනුම් දෙන්නේ ඒවා වහාම භාවිතයට ගන්නා ලෙසයි.
එමෙන්ම, නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර තබාගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, එවැනි අවස්ථාවක අදාළ ඉන්ධන තොග රාජසන්තක වීමට අමතරව සිරදඬුවම් විඳීමට ද සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එළඹෙන උත්සව සමයේදී ඉන්ධන හිඟයක් ඇති නොවන පරිදි කළමනාකරණය කිරීමට රජය පියවර ගෙන ඇති බැවින්, අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමෙන් වළකින ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.














