තමන්ට අයත් නොවන වාහන දත්ත භාවිත කරමින් ඉන්ධන QR කේත නිර්මාණය නොකරන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාවට දැඩි ලෙස අවවාද කරයි. ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසා සිටියේ වෙනත් පුද්ගලයෙකුගේ QR කේතයක් අවලංගු කර එය තමන්ගේ විස්තර යටතේ යළි භාවිත කිරීමට උත්සාහ කරන්නන් පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන බවයි.
දැනට පවතින පද්ධතිය හරහා කුමන දුරකථන අංකය භාවිත කරමින් කුමන QR කේතයක් යටපත් කළේද යන්නත්, එය කුමන ඉන්ධන පිරවුම්හලකදී සහ කුමන වේලාවකදී භාවිත කළේද යන්නත් නිරීක්ෂණය කිරීමට අමාත්‍යාංශය සතුව සම්පූර්ණ දත්ත පවතින බව රත්නායක මහතා පැහැදිලි කළේය. මෙලෙස දත්ත අවභාවිත කරන පුද්ගලයන් පිළිබඳව පද්ධති දත්ත සහ සීසීටීවී (CCTV) දර්ශන සාක්ෂි ලෙස යොදා ගනිමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විටත් පියවර ගෙන තිබේ.
මෙම ක්‍රියාවන් නීතිවිරෝධී වනවා සේම එමගින් ඉන්ධන කෝටාව සාධාරණව බෙදා හැරීමේ ක්‍රියාවලියට ද දැඩි බාධා එල්ල වන බව රජය පෙන්වා දෙයි. එබැවින් තමන්ට හිමි වාහනයට අදාළ නිවැරදි තොරතුරු පමණක් භාවිත කරමින් කටයුතු කරන ලෙසත්, අන් අයගේ දත්ත සොරකම් කිරීමෙන් හෝ වෙනස් කිරීමෙන් වළකින ලෙසත් බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.














