මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම පිළිබඳව පවතින අවිශ්චිතතාව මධ්‍යයේ, පෙට්‍රල් සහ ඩීසල් රැගත් ඉන්ධන නෞකාවක් අඟහරුවාදා (17) කොළඹ වරායට පැමිණි බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි. හොංකොං රාජ්‍යයට අයත් ‘Seafrontier’ නමැති මෙම නෞකාව මගින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 2,800ක් මෙරටට රැගෙනවිත් ඇත.
මෙම ඉන්ධන තොගය ගොඩබෑම් කටයුතු අද උදෑසන කෙරවලපිටිය ඉන්ධන ගබඩා පර්යන්තයේදී ආරම්භ කෙරුණු අතර, ඉන් කොටසක් කොළඹ වරායේ ‘ඩොල්ෆින්’ ජෙටිය (Dolphin Jetty) හරහා කොලොන්නාව ගබඩා සංකීර්ණය වෙත නළ මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන තිබේ. මෙම නව ඉන්ධන තොගය ලැබීමත් සමඟ පවතින ඉන්ධන කෝටාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ වෙළඳපොළේ පවතින ඉල්ලුම සපුරාලීමට හැකියාව ලැබෙනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.














