අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සඳහා අනුමත කර ඇති ඉන්ධන දීමනාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
සාමාන්‍යයෙන් සෑම මසකම 1 වනදා පවතින වෙළඳපල ඉන්ධන මිල ගණන් පදනම් කරගෙන ඉන්ධන දීමනාව ගණනය කරනු ලබන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සිය නිල සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා සිටිනවා. කෙසේ වෙතත් ආණ්ඩුවේ නවතම තීරණය වී ඇත්තේ 2026 මාර්තු 1 වනදා පැවති මිල ගණන් ඉදිරි කාලය සඳහාද පදනම් කර ගැනීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පසුගිය මාර්තු මාසය තුළ අවස්ථා දෙකකදීම ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණා. ඒ අනුව ඉන්ධන දීමනාව සඳහා හිමිවන මුදලෙහි වෙනසක් සිදු නොවුණද, වෙළඳපල මිල ඉහළ යාම හේතුවෙන් එම මුදලින් මිලදී ගත හැකි ඉන්ධන ලීටර් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
සරලවම පැවසුවහොත් මෙය දීමනා වැඩි කිරීමක් නොව වත්මන් මිල ගණන්වලට අනුව දීමනාව සංශෝධනය නොකිරීම නිසා සැබෑ ලෙසම හිමිවන ඉන්ධන ප්‍රමාණය සීමා වීමක් බවයි අරුන් හේමචන්ද්‍ර මහතා පවසන්නේ.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් උද්ගත වී ඇති බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා රජය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














