ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන අවසන් වී ඇති බැවින්, දැනට බෙදාහරිනු ලබන්නේ සයිනොපෙක් (Sinopec) සහ අයි.ඕ.සී. (IOC) සමාගම් මඟින් මෙරටට ගෙන එන ලද ඉන්ධන තොග පමණක් බව සමගි වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අනාවරණය කළේ පවතින බෙදාහැරීමේ දුර්වලතා සහ පෞද්ගලික බෝතල් රථ සේවයෙන් ඉවත් වීම හේතුවෙන් දිවයින පුරා පිරවුම්හල් 150ත් 200ත් අතර ප්‍රමාණයකට තවමත් ඉන්ධන ලැබී නොමැති බවයි. පෙබරවාරි 28 වැනිදායින් පසු වරායට ගොඩබාන ඉන්ධන ලීටරයක මිල රුපියල් 148 සිට 185 දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, රජය මිල සූත්‍රය හරහා ජනතාව ගසාකමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු බලශක්ති ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්ව ඇති බවත්, තෙල් සංස්ථාව සඳහා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු සභාපති ලෙස පත් කිරීම නිසා එහි පාලනය ගිලිහී ගොස් ඇති බවත් ආනන්ද පාලිත මහතා මෙහිදී ප්‍රකාශ කළේය. පෞද්ගලික ඉන්ධන බෙදාහරින රථවලින් 25%ක් පමණ මේ වන විට සේවයෙන් ඉවත් වී ඇති අතර, ඉන්ධන පිරවුම්හල්වලින් අසාධාරණ ලෙස මුදල් අය කිරීම නිසා ඉදිරියේදී ඇණවුම් කිරීම ද තවදුරටත් සීමා වීමේ අවදානමක් පවතී. මීට පෙර පන්නා දමන බව පැවසූ විදේශීය සමාගම්වලට ජනතාව ගසාකෑමට ඉඩ සලසා දෙමින් දේශීය ව්‍යාපාරිකයන් විනාශ කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














