උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති තවත් දූෂණ නඩුවක් විභාග කිරීම සඳහා ලබන අප්‍රේල් මස 02 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කළේය.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ 2012 සැප්තැම්බර් සිට 2014 දෙසැම්බර් දක්වා කාලය තුළ සිය ධුරය භාවිත කරමින් රජයට පාඩුවක් සිදුකළ බවට ලැබුණු චෝදනා මතය. විශේෂයෙන්ම තමාට හිමි වැටුප සමඟ ඉන්ධන දීමනාවක් ද ලබා ගනිමින් සිටියදී, ඊට අමතරව නීති විරෝධී ලෙස රජයේ ඉන්ධන ඇණවුම් පත් භාවිත කරමින් ඉන්ධන ලබා ගැනීම හරහා “දූෂණය” නැමති වරද සිදුකළ බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබේ.
අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නඩුවේ සාක්ෂිකරුවන්ට එදිනට පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.
එස්. එම්. රංජිත් මහතා මේ වන විටත් තවත් දූෂණ නඩුවක වරදකරු වී සිර දඬුවම් විඳිමින් සිටී. ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන මහත්මියට (හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිඳ) අයුතු ලෙස රුපියල් ලක්ෂ 26කට අධික ඉන්ධන ලබා දීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් 2025 අප්‍රේල් මාසයේදී ඔහුට සහ ඇයට බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවම් නියම විය.














