ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයත් සමඟ, දශක දෙකකට අධික කාලයක් එරට න්‍යෂ්ටික වැඩපිළිවෙළ “සාමකාමී” එකක් බව ලොවට පෙන්වීමට භාවිත කළ ප්‍රධානතම ආගමික පදනම වූ ‘න්‍යෂ්ටික ෆත්වා’ (Nuclear Fatwa) නියෝගය මේ වන විට අර්බුදයට පත්ව තිබේ. කමේනි විසින් 2000 දශකයේ මුල් භාගයේදී නිකුත් කරන ලද මෙම ආගමික නියෝගය මගින් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය, ගබඩා කිරීම සහ භාවිතය ඉස්ලාමීය නීතියට අනුව ‘හරාම්’ හෙවත් තහනම් ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි. එය ඔහුගේ පෞද්ගලික ආගමික මතයක් වූ බැවින්, ඔහු නොමැති තත්ත්වයක් තුළ එම නියෝගයට පැවති බැඳී පවත්නා ස්වභාවය (Binding Force) ගිලිහී යන බව පැවසේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සහ පාර්ලිමේන්තුවේ සිටින දැඩි මතධාරීන් පසුගිය වසර පුරාම මෙම නියෝගය සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට බලපෑම් කරමින් සිටි අතර, කමේනිගේ අභාවය ඒ සඳහා පැවති ප්‍රධානතම ආගමික බාධකය ඉවත් කිරීමක් බඳුය. ඊශ්‍රායලය සහ ඇමරිකාව එල්ල කරන දරුණු ප්‍රහාර හමුවේ රටේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා න්‍යෂ්ටික අවි නිපදවිය යුතු බවට ඉරාන ආරක්ෂක මණ්ඩලයේ ඇතැම් පිරිස් මේ වන විටත් තර්ක කරමින් සිටිති. විශේෂයෙන්ම ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) වාර්තා කරන පරිදි ඉරානය සතුව මේ වන විටත් 90%ක මට්ටමට ආසන්න යුරේනියම් තොග පවතින බැවින්, නව නායකත්වය මෙම ෆත්වා නියෝගය පසෙකලා න්‍යෂ්ටික අවියක් කරා ගමන් කරනු ඇතැයි බටහිර බුද්ධි අංශ දැඩි අවධානයෙන් පසුවේ.














