ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධානතම AI සමුළුවේදී ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලය විසින් ‘Orion’ ලෙස නම් කරන ලද රොබෝ බල්ලෙකු ප්‍රදර්ශනය කරන ලදී. එහිදී එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අංශයේ මහාචාර්යවරියක වන නේහා සිං (Neha Singh) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙම රොබෝවරයා ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ විශිෂ්ඨතා මධ්‍යස්ථානය (Centre of Excellence) විසින් නිපදවන ලද්දක් බවයි.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ තාක්ෂණික විශේෂඥයන් වහාම පෙන්වා දුන්නේ මෙය චීනයේ ‘Unitree’ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද, වෙළෙඳපොළේ විකිණීමට ඇති ‘Unitree Go2’ මාදිලියේ රොබෝවරයෙකු බවයි. ඉන්දියාවේ දේශීය නව නිපැයුම් ප්‍රදර්ශනය කිරීමට වෙන් වූ වේදිකාවක චීන නිෂ්පාදනයක් තමන්ගේ නිපැයුමක් ලෙස හඳුන්වා දීම දැඩි විවේචනයට ලක් වූ අතර, එය ඉන්දියාවට ජාත්‍යන්තර මට්ටමේ අපහසුතාවයක් (National Embarrassment) බවට ද චෝදනා එල්ල විය.
මෙම තත්ත්වය හමුවේ ඉන්දීය රජය වහාම ක්‍රියාත්මක වී එම ප්‍රදර්ශන කුටියේ විදුලිය විසන්ධි කර ඔවුන්ට පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස නියෝග කළේය. අද නිකුත් කළ නව නිවේදනය මඟින් විශ්වවිද්‍යාලය පවසා ඇත්තේ එම කුටියේ රැඳී සිටි නියෝජිතවරියට නිෂ්පාදනයේ තාක්ෂණික මූලාරම්භය පිළිබඳ නිසි අවබෝධයක් නොතිබූ බවත් (Ill-informed), ඇය මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට අවසර ලත් අයෙකු නොවන බවත්ය. සිදුවූ ව්‍යාකූලත්වය පිළිබඳව විශ්වවිද්‍යාලය සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර සංවිධායකයන්ගේ තීරණයට ගරු කරමින් දැනටමත් එම පරිශ්‍රයෙන් ඉවත් වී තිබේ.













