දිල්ලියේ පැවැත්වෙන AI Impact Summit ප්‍රදර්ශන පරිශ්‍රයෙන් වහාම ඉවත් වන ලෙස ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයට (Galgotias University) දන්වා ඇති බව වාර්තා වේ. මෙම තීරණයට හේතු වී ඇත්තේ චීන සමාගමක් නිෂ්පාදනය කළ රොබෝ බල්ලෙකු (Robotic Dog), විශ්වවිද්‍යාලයේ විශිෂ්ටතා මධ්‍යස්ථානය මඟින් නිර්මාණය කරන ලද්දක් ලෙස හඳුන්වා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මතුවූ දැඩි විවේචනයයි.
ප්‍රදර්ශනය අතරතුර සමාජ මාධ්‍යයට එක්වූ වීඩියෝවක දැක්වෙන්නේ, එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නේහා සිං විසින් “ඔරියන්” (Orion) ලෙස නම් කරන ලද මෙම රොබෝ බල්ලා ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ විශිෂ්ටතා මධ්‍යස්ථානය විසින් නිපදවූවක් බව පවසන ආකාරයයි. මෙය නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු සඳහා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නිදහසේ සැරිසරන බව ද ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, මෙම රොබෝවරයා චීනයේ Unitree Robotics සමාගම නිපදවන Unitree Go2 වර්ගයේ රොබෝ බල්ලෙකු බව ප්‍රේක්ෂකයන් සහ තාක්ෂණික විශේෂඥයන් වහාම හඳුනා ගත්හ. චීන නිෂ්පාදනයක් තමන්ගේ නිර්මාණයක් ලෙස හුවා දැක්වීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල විය.
විවේචන හමුවේ නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාලය පවසා සිටියේ, තමන් මෙම රොබෝවරයා නිෂ්පාදනය කළ බවට කිසිවිටෙක ප්‍රකාශ නොකළ බවයි. ඔවුන් සිදුකරන්නේ මෙවැනි තාක්ෂණයන් අනාගතයේදී ඉන්දියාවේ (Bharat) නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බුද්ධිමතුන් බිහිකිරීම බව එහි සඳහන් විය. එහෙත්, මහාචාර්යවරියගේ ප්‍රකාශය සහ විශ්වවිද්‍යාලයේ මෙම පැහැදිලි කිරීම අතර පරස්පරතාවක් පවතින බව බොහෝ දෙනා පෙන්වා දෙති.














