ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන් 84 දෙනෙකුගේ මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා අද (11) නියෝග කළේය. ගාල්ල වරාය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය රෝහල් අධ්‍යක්ෂවරයා වෙත නිකුත් කර තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී අමෙරිකානු ප්‍රහාරවලින් විනාශ වූ ඉරාන නාවික යාත්‍රාවල සිටි පිරිසකගේ සිරුරු මෙලෙස මෙරටට රැගෙන විත් තිබුණි. මෙම සිරුරු භාරදීම සම්බන්ධයෙන් ඉරාන තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට අනුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකළ සම්බන්ධීකරණයකින් පසු අධිකරණය මෙම තීරණයට එළඹ ඇත.
පසුගිය දින කිහිපය පුරා මෙම නාවිකයන්ගේ දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සහ හඳුනාගැනීමේ කටයුතු සිදුකෙරුණු අතර, අධිකරණ නියෝගයත් සමඟ ඒවා කඩිනමින් ඉරානය වෙත ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙනු ඇත. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට පැමිණ සිටි විදේශිකයන්ට වීසා සහන ලබාදීමට රජය ගත් තීරණය මෙන්ම, මෙම මානුෂීය මෙහෙයුම ද ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














