ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන පිටව යමින් තිබූ ත්‍රිරෝද රථයක් අද (22) දහවල් හදිසියේම ගිනි ගැනීමට ලක්වීමෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඉන්ධන පිරවුම්හලට ඉතා සමීපව මෙම ගින්න හට ගැනීම හේතුවෙන් ප්‍රදේශය පුරා විශාල අනතුරක් සිදුවීමේ අවදානමක් නිර්මාණය වී තිබූ බව අප වාර්තාකරු සඳහන් කරයි.
ත්‍රීරෝද රථය ගිනි ගැනීමත් සමඟ එහි රියදුරු වහාම වාහනයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇත. එම අවස්ථාවේ ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල රැඳී සිටි ජනතාවත්, ආරක්ෂක රාජකාරියේ නියුතු පොලිස් සහ යුධ හමුදා නිලධාරීනුත් වහා ක්‍රියාත්මක වී තිබේ. ඔවුන් ඉන්ධන පිරවුම්හලේ තිබූ ගිනි නිවන උපකරණ (Fire Extinguishers) භාවිත කරමින් ඉතා කෙටි වේලාවකින් ගින්න මැඩපැවැත්වීමට සමත් වී ඇති අතර, ඒ හේතුවෙන් ඉන්ධන ගබඩාවලට ගින්න පැතිර යාම වැළකී ගොස් ඇත.
පවතින අධික උෂ්ණත්වය හෝ ත්‍රිරෝද රථයේ කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතු වන්නට ඇතැයි සැක කෙරේ. ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














