ගාල්ල මුහුදේදී එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු එරටට රැගෙන යාම සඳහා විශේෂ ගුවන් යානයක් අද (13) මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. පසුගිය මාර්තු 04 වැනිදා ගාල්ල වරායට නාවික සැතපුම් 40ක් දුරින්දී එල්ල වූ සබ්මැරින් ප්‍රහාරයකින් අදාළ නෞකාව මුහුදුබත් වූ අතර, එහි සිටි නාවිකයින්ගේ සිරුරු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබූ මෙම සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු ඒවා ඉරාන තානාපති කාර්යාලය වෙත භාර දීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. ඒ අනුව, මළ සිරුරු 45ක් අද අලුයම ද, ඉතිරි සිරුරු 39 සවස් කාලයේ ද දැඩි පොලිස් ආරක්ෂාව යටතේ අධිශීතකරණ බහාලුම් මගින් මත්තල ගුවන් තොටුපළ වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු කෙරිණි.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය මෙරට මුහුදු සීමාව දක්වා ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඛේදවාචකය සිදුව ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරාන රජයේ නියෝජිතයින් පිරිසක් ද මෙම සිරුරු භාර ගැනීම සඳහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.














