ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඩිජිටල්කරණය කිරීමේ නව වැඩපිළිවෙල සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ඊයේ (27) ලක් විය. සායනික රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේදී දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමෙන් රෝගීන් පත්වන අපහසුතාව මගහරවා ගැනීම සඳහා මෙම “ස්මාට් ටෝකන්” ක්‍රමය හඳුන්වා දී තිබේ. මෙරට රෝහල් පද්ධතිය තුළ ප්‍රථම වතාවට ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන පසුගිය 25 වනදා නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙම නව ක්‍රමවේදය යටතේ රෝගීන් සායනයෙන් ලබාගන්නා ඖෂධ වට්ටෝරුව ඖෂධ නිකුත් කරන ස්ථානයට ඉදිරිපත් කළ යුතුය. එහිදී රෝගියාගේ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමෙන් අනතුරුව විශේෂ ටෝකන් අංකයක් නිකුත් කෙරෙන අතර, එම අංකය අනුව රෝගීන්ට ඉතා පහසුවෙන් ඖෂධ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. විශේෂයෙන්ම පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශ්‍රාමිකයින් සහ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් මෙහිදී විශේෂ ප්‍රමුඛතාවක් ලබා දීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල ඉදිරියේදී QR කේත ක්‍රමවේදයක් (QR System) දක්වා තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිත බව කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා සඳහන් කළේය. බාහිර ඖෂධ ලබාගැනීමේ ක්‍රියාවලිය ද මෙම ඩිජිටල් පද්ධතියට ඇතුළත් කිරීම හරහා රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ට ද කාලය ඉතිරි කරගනිමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාවයි.














