ගාල්ල මුහුදු තීරයේදී ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිෂ් ඩෙනා’ නෞකාවේ සිටියදී මියගිය නාවිකයින් 84 දෙනෙකුගේ දේහයන් තැන්පත් කිරීම සඳහා අඩි 40ක දිගින් යුත් විශේෂ අධි ශීතාගාර කන්ටේනර් රථ දෙකක් ඊයේ (05) පස්වරුවේ ගාල්ල ජාතික රෝහල වෙත රැගෙනවිත් තිබේ. ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය තුළ මෙතරම් විශාල මළ සිරුරු සංඛ්‍යාවක් තැන්පත් කිරීමට ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් රජයේ මැදිහත්වීමෙන් සහ මුස්ලිම් ජාතිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම ජංගම අධි ශීතාගාර ගෙන්වා ගැනීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඉන්දියාවේ පැවැති ‘මිලාන් 2026’ නාවික අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටියදී ඇමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ මෙම නෞකාවේ සිටි නාවිකයින් 180 දෙනාගෙන් 32 දෙනෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වූ අතර ඔවුන් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිම කිරීමෙන් පසු ඒවා මෙම ජංගම ශීතාගාර තුළ තැන්පත් කර තැබීමට නියමිත අතර මෙම සිදුවීමත් සමඟ ගාල්ල රෝහල අවට ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ.














