ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු අද (12) දහවල් ඉන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී, බන්ධනාගාර නියාමකවරයෙකු අහසට වෙඩි තබා ඔහුව මෙල්ල කර ගැනීමට සමත්ව තිබේ. ගෘහස්ථ හිංසනයකට අදාළ නඩුවක් හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අම්බලන්ගොඩ, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස පලායාමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
අද දහවල් කාලයේදී මෙම රැඳවියා බන්ධනාගාරයේ සැකකරුවන් ලියාපදිංචි කිරීමේ අංශයේ වහලයට නැග ඇති අතර, අනතුරුව ඔහු අමුත්තන් පෙන්වීමේ ගොඩනැගිල්ලේ වහලය මත දිව යන්නට පටන් ගෙන තිබේ. ඒ අවස්ථාවේ මුර අට්ටාලයේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නියාමකවරයා වහා ක්‍රියාත්මක වී අහසට වෙඩි තබා ඔහුට නතර වන ලෙස අනතුරු අඟවා ඇත. වෙඩි හඬින් බියට පත් වූ රැඳවියා බන්ධනාගාරයේ ඇතුළත ප්‍රධාන දොරටුව අසල තිබූ වැලි ගොඩකට පැන ඇති අතර, ඒ සමඟම ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, පලායාමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අලුතින් නඩු පැවරීමට ද නියමිතය.














