ගාල්ල දුම්රිය ස්ථානයේ නවත්වා තිබියදී ඊයේ (මාර්තු 31) රාත්‍රියේ හදිසියේ ගින්නකට හසුව විනාශ වූ දුම්රිය මැදිරි දෙක පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා (Government Analyst) අද (අප්‍රේල් 1) පෙරවරුවේ එම ස්ථානයට පැමිණ තිබෙනවා.
දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි හතරකින් යුත් දුම්රියක මැදිරි දෙකක මෙලෙස හදිසියේම ගින්නක් හටගෙන ඇත. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මඟින් ගිනි නිවන රථ දෙකක් යොදවා ගින්න මැඩපැවැත්වූ අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන්, දුම්රිය සේවකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද සහාය වී තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැතහොත් කාර්මික දෝෂයක්ද යන්න සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් කැඳවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














