ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ගාල්ල පොලිසියට ලද තොරතුරක් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පුද්ගලයා බීමත්ව සහ හිසේ තුවාලයක් සහිතව නිවසට පැමිණ නිදාගෙන ඇති බවයි. කෙසේ වෙතත්, පසුදින ඔහු අවදි නොවීම හේතුවෙන් නිවසියන් කළ සොයා බැලීමකදී ඔහු මියගොස් ඇති බව අනාවරණය වී ඇත. හිසේ පැවති තුවාලය මරණයට හේතුව වී ඇත්ද යන්න පිළිබඳව සැකයක් මතුව තිබේ.
මෘත ශරීරය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මරණයට නිශ්චිත හේතුව සනාථ කර ගැනීම සඳහා ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














