ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව ගම්පහ මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය. සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
වාර්ෂික වෙළඳ බලපත්‍රය වෙනුවට ව්‍යාපාර බදු මුදලක් පමණක් අය කරමින්, සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ බාධාවකින් තොරව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා මොහු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබුණි. ඉකුත් 27 වනදා අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 5,000ක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගෙන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.














