ජාත්‍යන්තර වෙළඳපොළේ රන් මිල ඉහළ ගියද, දේශීය වෙළඳපොළේ රන් මිල එම වේගයෙන්ම ඉහළ නොයෑමට මෙරට රන් වෙළඳපොළ තුළ පවතින අතිරික්ත සැපයුම (Oversupply) ප්‍රධානතම හේතුව වී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. “We Buy Gold” ආයතනයේ ඉනාමුල් හසන් මහතා පෙන්වා දෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දා (12) වන විට දේශීය වෙළඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 362,000ක් පමණ වූ අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් 395,000ක් ලෙස සටහන් වූ බවයි. මෙම වසර මුලදී රුපියල් 400,000 සීමාව ඉක්මවා ගිය රන් මිල, පසුගිය සති දෙකක කාලය පුරා ක්‍රමයෙන් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ.
විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර රන් මිල අවුන්සයක් ඩොලර් 4,600ක්ව පැවති සමයේ මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 405,000ක් දක්වා ඉහළ ගොස් තිබීමයි. කෙසේ වෙතත්, මේ වන විට ලෝක වෙළඳපොළේ රන් මිල අවුන්සයක් ඩොලර් 5,065ක් දක්වා ඉහළ ගොස් තිබුණද, දේශීය රන් මිල තවමත් රුපියල් 400,000 සීමාවෙන් පහළ පැවතීම කැපී පෙනෙන තත්ත්වයකි. පවතින ඉල්ලුමට වඩා වැඩි රන් ප්‍රමාණයක් දේශීය වෙළඳපොළේ සංසරණය වීම මෙම මිල පරතරයට හේතුව බව හසන් මහතා පෙන්වා දෙයි.
ලෝක වෙළඳපොළේ රන් මිල පිළිබඳව රොයිටර් පුවත් සේවය පවසන්නේ පසුගිය ජනවාරි 29 වනදා රන් මිල අවුන්සයක් ඩොලර් 5,594.8ක් වැනි ඉහළම අගයක් වාර්තා කළ බවයි. ඉදිරියේදී ආයෝජන ඉල්ලුම සහ ලොව පුරා මධ්‍යම බැංකු මගින් රන් මිලදී ගැනීම් ඉහළ යාම නිසා වසර අවසානය වන විට රන් මිල අවුන්සයක් ඩොලර් 6,000 සිට 6,300 දක්වා ඉහළ යනු ඇති බව UBS සහ J.P. Morgan වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන පුරෝකථනය කරයි. දේශීය වශයෙන් පවතින මෙම අසාමාන්‍ය මිල විෂමතාවය පාරිභෝගිකයන්ට යම් සහනයක් ගෙන දුන්නද, ඉදිරි ලෝක මිල වෙනස්වීම් හමුවේ දේශීය වෙළඳපොළේ ස්ථාවරත්වය කෙරෙහි ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇත.














