ගාසා තීරයේ ඇති වූ දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් 2023 නොවැම්බර් මාසයේදී ඊජිප්තුවට රැගෙන ගිය බිළිඳුන් අට දෙනෙකු වසර දෙකකට අධික කාලයකට පසු යළි සිය පවුල් වෙත භාර දීමට ඊයේ (30) පියවර ගෙන තිබේ. මෙලෙස යළි පැමිණි දරුවන් අතර සුන්දස් අල්-කුර්ඩ් (Sundus al-Kurd) නැමැති මවගේ දියණිය වන බිසාන් (Bisan) ද සිටීම විශේෂත්වයකි.
පසුගිය 2023 වසරේ ගාසා හි අල්-ෂිෆා (Shifa) රෝහල ඉශ්‍රායල හමුදා විසින් අත්පත් කරගත් අවස්ථාවේදී, දැඩි ලෙස රෝගාතුරව ඉන්කියුබේටර් (Incubators) තුළ සිටි බිළිඳුන් 30කට අධික පිරිසක් ඊජිප්තුවට මාරු කර යැවීමට කටයුතු කෙරුණි. එම අවස්ථාවේදී සිය බිළිඳු දියණිය ද රැගෙන යාමට සුන්දස් උත්සාහ කළ ද, දරුවා ඉන්කියුබේටරයෙන් ඉවතට ගැනීමට නොහැකි බව රෝහල් බලධාරීන් පවසා තිබුණි.
වසරකට ආසන්න කාලයක් සිය දියණිය ජීවතුන් අතර සිටිනවාද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොදැන සිටි සුන්දස්, පසුව දැනගෙන ඇත්තේ සිය දියණිය ඊජිප්තුවේ ක්ෂේත්‍ර රෝහලක නිරුපද්‍රිතව සිටින බවයි. උපන් අවස්ථාවේදී දරුවාගේ අතේ පැළඳි රෝස පැහැති අත්පළඳනාව (Pink Bracelet) මඟින් දරුවා හඳුනා ගැනීමට හැකි වී තිබේ. ඛාන් යුනිස් (Khan Younis) හි නසාර් රෝහලේදී සිය දියණිය යළි මුණගැසුණු අවස්ථාවේදී ඇය පැවසුවේ මෙය “බලාපොරොත්තු සුන්වීම සහ බලාපොරොත්තුව අතර ගෙවුණු කාලයක නිමාව” බවයි.














