මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ (26) දිනයේ, දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් තම පාසලට ගෞරව කරමින් සමුගැනීමේ පුවතක් වාර්තා වේ. විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 98 දෙනෙකු විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ මල් කළඹ දවටා, විද්‍යාලයට වැඳ නමස්කාර කරමින් මෙලෙස ගෞරව දක්වා තිබේ. විභාගය නිම වීමෙන් පසු සිසුන් බුදු මැදුරට ගොස් පන්සිල් සමාදන් වී, අනතුරුව විභාග ශාලා භාර ගුරුභවතුන්ට ද වැඳ නමස්කාර කර සමුගෙන ඇත.
ඉන් පසුව සිසුන් පෙළට ගොස් පාසල් ගීතය ගායනා කරමින් විනාඩි පහක පමණ කාලයක් පාසල් ගේට්ටුව අසල වැඳ නමස්කාර කර ඇති බව වාර්තා වේ. විභාග අවසානයේ ඇතැම් සිසුන් විනය විරෝධී ලෙස හැසිරෙමින් පාසල් දේපළවලට හානි කරන වකවානුවක, ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පෙන්වූ මෙම හැසිරීම රටටම පූර්වාදර්ශයක් බව ප්‍රදේශවාසීහු සහ ගුරුවරු පවසති. මෙය තමන් දුටු පළමු අවස්ථාව බවත්, මෙම ආදර්ශය ලෝකයටම වටිනා පණිවිඩයක් බවත් විභාග ශාලාවේ සිටි ගුරුවරුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















