අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම දැඩි ලෙස හෙළාදකින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. කිසිදු පාර්ශවයකට වෙනත් රටක අධ්‍යාත්මික හෝ දේශපාලන නායකයෙකු මෙලෙස ඝාතනය කිරීමට අයිතියක් නොමැති බව ඔහු අවධාරණය කළේය.
මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉරානයට එරෙහිව ගුවන් යානා 600ක් යොදා ගනිමින් සිදුකළ ප්‍රහාරය තමා පෞද්ගලිකව හෙළාදකින බවයි. ඕනෑම රටක නායකයෙකුට එරෙහිව එල්ල වන මෙවැනි විදෙස් තර්ජන හමුවේ ජාතියක් ලෙස නැගී සිටිය යුතු බවත්, දේශපාලන මතිමතාන්තර කුමක් වුවත් රටේ නායකයා ආරක්ෂා කර ගැනීම වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඉරානයේ ඉතිහාසය සහ ලාංකිකයන් අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව ද අදහස් දැක්වූ විජේරත්න මහතා, ඉරානයේ වෙසෙන්නේ ද සිංහල ජාතියේ මූලාරම්භය හා බැඳුණු ආර්යයන් බවත් ඔවුන් අන්තවාදීන් නොවන බවත් ප්‍රකාශ කළේය. ලෝකයේ ඉදිරි සාමය පිළිබඳව දැඩි අවිශ්වාසයක් පළ කළ ඔහු, පවතින යුදමය වාතාවරණය හමුවේ බුද්ධිමත්ව සිතා ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් වන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.














