අමෙරිකානු ප්‍රවාහන ආරක්ෂක පරිපාලනය (TSA) විසින් ලබා දුන් තොරතුරු මත පදනම්ව, එරට ආගමන විගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය (ICE) පුද්ගලයන් 800කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන කාලය ආරම්භයේ සිට 2026 පෙබරවාරි දක්වා කාලය තුළ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති අතර, මෙය මීට පෙර ප්‍රසිද්ධ කළ සංඛ්‍යාලේඛනවලට වඩා බෙහෙවින් වැඩි අගයකි.
ගුවන් මගීන් 31,000කට වැඩි පිරිසකගේ දත්ත TSA ආයතනය විසින් ICE වෙත ලබා දී ඇති අතර, ඉන් අනතුරුව මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක වී තිබේ. සාමාන්‍යයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධ තර්ජන පිළිබඳව පමණක් තොරතුරු හුවමාරු කර ගත්තද, ට්‍රම්ප් පාලනය යටතේ ක්‍රියාත්මක වන “සමූහ පිටුවහල් කිරීමේ” (Mass deportation) වැඩසටහනේ කොටසක් ලෙස සාමාන්‍ය ආගමන විගමන නීති උල්ලංඝනය කරන්නන් හඳුනා ගැනීමට ද මෙම දත්ත භාවිතා කර ඇත.
ගුවන් තොටුපළ තුළ ICE නියෝජිතයන් යෙදවීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ දැඩි විවේචන එල්ල වී ඇති අතර, මෙමඟින් සංචාරකයන් අතර අනවශ්‍ය බියක් සහ ව්‍යාකූලත්වයක් ඇති වන බව ඔවුන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම කුඩා දරුවන් සමඟ ගමන් කරන දෙමාපියන් පවා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව ආගමන විගමන නීතිඥවරුන් පවසයි. මෙම තත්ත්වය හමුවේ චිකාගෝ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ගුවන් තොටුපළ පරිශ්‍රයන්හි විරෝධතා ද පැවැත්වෙන බව වාර්තා වේ.














