ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පාසලක 2024 වසරේදී සිදුවූ සමූහ වෙඩි තැබීමකට අදාළව, වෙඩි තැබීම සිදුකළ 14 හැවිරිදි සිසුවාගේ පියා වන කොලින් ග්‍රේ (Colin Gray) දෙවන ගණයේ මිනීමැරුම් සහ මනුෂ්‍ය ඝාතන චෝදනාවලට වැරදිකරු බව එරට අධිකරණය තීන්දු කර තිබේ. සති දෙකක සාක්ෂි විමසීමකින් අනතුරුව ජූරි සභාව විසින් පසුගිය අඟහරුවාදා (03) මෙම තීන්දුව ලබා දෙන ලදී. 54 හැවිරිදි කොලින් ග්‍රේට එරෙහිව මිනීමැරුම්, නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා 29ක් එල්ල වී තිබුණි.
මෙම නඩුවේදී පැමිණිල්ල පාර්ශවය තර්ක කළේ, තම පුත්‍රයා වන කෝල්ට් ග්‍රේ (Colt Gray) අන් අයට හානි කළ හැකි බවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත්, ඔහුට ගිනි අවි සහ පතොරම් ලබා දීම මගින් පියා බරපතල අපරාධකාරී නොසැලකිල්ලක් දක්වා ඇති බවයි. 2024 සැප්තැම්බර් 4 වැනිදා ජෝර්ජියාවේ ඇපලචි (Apalachee) උසස් පාසලේදී සිදුවූ මෙම ප්‍රහාරයෙන් ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් නව දෙනෙකු තුවාල ලැබූහ. ප්‍රහාරයට යොදාගත් අවි පියා විසින් පුතාට තෑගි කළ ඒවා බව පරීක්ෂණවලදී හෙළි විය.
වෙඩි තැබීම සිදුකළ කෝල්ට් ග්‍රේට එරෙහිව ද මිනීමැරුම් චෝදනා 55ක් යටතේ නඩු පවරා ඇති අතර, ඔහුට වැඩිහිටියෙකු ලෙස සලකා නඩු විභාගය පවත්වනු ලැබේ. කොලින් ග්‍රේට එරෙහිව ලබාදුන් මෙම තීන්දුව ඇමරිකානු නීති ඉතිහාසයේ සුවිශේෂී වන්නේ, දරුවන් විසින් සිදුකරන පාසල් වෙඩි තැබීම් සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමාපියන් වගකිව යුතු බවට තීන්දු කළ නවතම අවස්ථාව මෙය වන බැවිනි. මීට පෙර මිචිගන් ප්‍රාන්තයේදී ද මෙවැනිම සිදුවීමකට අදාළව දෙමාපියන් වැරදිකරුවන් වී වසර 10 සිට 15 දක්වා සිරදඬුවම් නියම විය.
කොලින් ග්‍රේ සඳහා දඬුවම් නියම කිරීම ඉදිරි දිනයකදී සිදු කිරීමට නියමිත අතර, ඔහුට වසර 30ක් දක්වා සිරදඬුවම් නියම වීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත්, ඔහුගේ නීතිඥවරුන් මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ. දරුවන් අතට ගිනි අවි පත්වීම වැළැක්වීමට දෙමාපියන් සතු වගකීම පිළිබඳව මෙම නඩු තීන්දුව හරහා ප්‍රබල පණිවිඩයක් සමාජයට නිකුත් වී තිබේ.














