ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන මැදිහත්වීම් සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සිය දැඩි අකමැත්ත පළකර තිබේ. ජර්මානු රජයේ ප්‍රකාශක ස්ටෙෆාන් කොර්නේලියස් සඳහන් කළේ, “මෙම යුද්ධයට ජර්මනිය කිසිසේත් සහභාගී නොවන” බවයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමන් බිමන් ආරක්ෂා කිරීම සඳහා කෙරෙන හමුදා මෙහෙයුම්වලට ද ජර්මනිය දායක නොවන බවත්, මෙය නේටෝ සංවිධානයට අදාළ යුද්ධයක් නොවන බවත් චාන්සලර්වරයා අවධාරණය කර ඇත.
ඉරානය විසින් නාවික මාර්ග අවහිර කිරීමට එරෙහිව ප්‍රංශය, චීනය, ජපානය සහ එක්සත් රාජධානිය වැනි රටවල් එක්වී නැව් යැවිය යුතු බවට ට්‍රම්ප් කළ ඉල්ලීම ජර්මනිය මෙලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් ද පෙන්වා දෙන්නේ අමතර යුද නැව් කලාපයට යැවීමෙන් පවතින අර්බුදය තවත් උග්‍ර විය හැකි බවයි. විශේෂයෙන්ම මෙම යුද්ධය නිසා ඉහළ යන තෙල් මිල ජර්මානු ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීමට දැඩි බාධාවක් වී ඇති අතර, උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික වර්ධනය සියයට 0.8 දක්වා පහත වැටීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තම රටේ ආර්ථිකය සුරක්ෂිත කර ගැනීම සහ යුද්ධයකට මැදිහත් නොවීම යන ද්විත්ව අර්බුදයකට මැදිව සිටින චාන්සලර් මර්ස්, අමෙරිකාව සමඟ පැවති සමීප සබඳතාවයෙන් තරමක් බැහැරව ස්වාධීන ස්ථාවරයක් ගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටියි.















