හෝර්මුස් සමුද්‍ර සන්ධියේ (Hormuz Strait) නාවික ගමනාගමනය විවෘතව තබා ගැනීම සඳහා දියත් කෙරෙන කිසිදු හමුදාමය මෙහෙයුමකට සහභාගී නොවන බව ජර්මනිය සහ ග්‍රීසිය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙම රටවල් දෙකම සිය ස්ථාවරය අද (16) ප්‍රකාශයට පත් කළේය.
ඉරානය සම්බන්ධයෙන් පවතින මෙම ගැටුම නේටෝ (NATO) ආරක්ෂක සන්ධානයට අදාළ කාරණයක් නොවන බව ජර්මානු රජයේ ප්‍රකාශකවරයා අවධාරණය කළේය. යුද්ධය පවතින තාක් කල් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හමුදාමය ක්‍රම මගින් විවෘතව තබා ගැනීමට ජර්මනිය කිසිදු උත්සාහයක් හෝ මැදිහත්වීමක් සිදු නොකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ග්‍රීක රජයේ ප්‍රකාශක පැව්ලෝස් මරිනාකිස් මහතා ද තහවුරු කළේ සිය රට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ කිසිදු හමුදා මෙහෙයුමකට එක් නොවන බවයි. මීට පෙර ජපානය සහ ඕස්ට්‍රේලියාව ද මෙවැනිම තීරණයක් ගෙන තිබූ අතර, බ්‍රිතාන්‍යය ද නේටෝ සංවිධානයේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
ලෝකයේ බලශක්ති සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම ගෝලීය ආර්ථිකයට දැඩි තර්ජනයක් වී ඇති පසුබිමක මෙම ප්‍රබල රාජ්‍යයන් හමුදාමය මැදිහත්වීම්වලින් බැහැරව සිටීමට තීරණය කර ඇත.














