අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ තාවකාලික සටන් විරාමයත් සමඟ ජර්මනිය ද ඉරානය සමඟ යළිත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් ඊයේ (09) ප්‍රකාශ කළේය. වසරකට අධික කාලයකට පසු ආරම්භ වූ මෙම ඉහළ පෙළේ සාකච්ඡා, අමෙරිකාව සහ අනෙකුත් යුරෝපීය පාර්ශවයන්ගේ ද සම්බන්ධීකරණය ඇතිව සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේය.
2025 වසරේ සිට දෙරට අතර සබඳතා දැඩි ලෙස පළුදු වී තිබූ අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් යුරෝපීය රටවල් එල්ල කළ විවේචන මීට ප්‍රධාන හේතුවක් විය. කෙසේ වෙතත්, ලෙබනනය තුළ ඊශ්‍රායලය ක්‍රියාත්මක කරන හමුදා මෙහෙයුම් හේතුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර ඇති වීමට නියමිත සාම සාකච්ඡා අවදානමට ලක් විය හැකි බවට ද චාන්සලර්වරයා මෙහිදී අනතුරු ඇඟවීය. මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය ඉතා වැදගත් වනු ඇති බව ජර්මනියේ විශ්වාසයයි.














