ජර්මනියේ සැක්සනි-ඇන්හෝල්ට් (Saxony-Anhalt) ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත තීරණාත්මක මැතිවරණයට පෙර, එරට අන්ත දක්ෂිණාංශික ‘Alternative für Deutschland’ (AfD) පක්ෂය අතිශය රැඩිකල් සහ විවාදාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිල වශයෙන් පිළිගෙන තිබේ. සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී මෙම පක්ෂය බහුතර බලයක් ලබාගනු ඇතැයි මත විමසුම්වලින් කියැවෙන අතර, එසේ වුවහොත් දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ ප්‍රාන්තයක බලයට පත්වන පළමු අන්ත දක්ෂිණාංශික පක්ෂය මෙය වනු ඇත.
පිටු 150කට වඩා වැඩි මෙම නව ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජර්මානු ජන වර්ගයට ප්‍රමුඛතාවය දෙන වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ. සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම හෙවත් “Remigration” ක්‍රියාවලිය දැඩිව ක්‍රියාත්මක කිරීම, යුක්රේන වැසියන් යුද සරණාගතයන් ලෙස පිළිගැනීම නැවැත්වීම සහ රුසියාව සමඟ සබඳතා යළි ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන යෝජනා වේ. පක්ෂයේ ප්‍රධාන අපේක්ෂක උල්රිච් සීග්මන්ඩ් පවසන්නේ, “අපේ රට යළි අප සතු කරගැනීමට” කාලය එළඹ ඇති බවයි.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සාම්ප්‍රදායික ජර්මානු පවුල් සංකල්පයට ප්‍රමුඛතාවය දෙමින්, ජර්මානු ජාතිකයන්ට වැඩිපුර දරුවන් බිහි කිරීම සඳහා බදු සහන සහ නොමිලේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ලබා දීමට ද යෝජනා කර ඇත. කෙසේ වෙතත්, වාමාංශික පක්ෂ සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ “බියකරු සිහිනයක්” බවයි. ජර්මානු බුද්ධි අංශ මගින් මෙම පක්ෂය “අන්තවාදී සංවිධානයක්” ලෙස නම් කර තිබුණද, පක්ෂය විසින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තාවකාලික තහනම් නියෝගයක් ලබාගෙන තිබේ.














