ඉරාන යුද්ධය අවසන් වීමෙන් පසු ලොව ප්‍රධානතම වෙළඳ මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජර්මානු සන්නද්ධ හමුදාවල (Bundeswehr) සහාය ලබා දීමට සූදානම් බව ජර්මානු ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් (Boris Pistorius) ප්‍රකාශ කර තිබේ. ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරදී අද (2026 මාර්තු 26) සිය ඔස්ට්‍රේලියානු සගයා හමුවීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, වත්මන් යුදමය වාතාවරණය පවතින තාක් ජර්මනිය කිසිදු හමුදාමය මැදිහත්වීමක් සිදු නොකරන බවත්, යුද්ධයට ඇදී යාමට තමන් අකමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. සටන් විරාමයකින් හෝ සාම ගිවිසුමකින් පසුව ජාත්‍යන්තර මෙහෙයුමක් හරහා නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමට ජර්මනිය මැදිහත් වනු ඇත. “නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මෙය සුදුසුම වෙලාව නෙවෙයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සංචාරයේදී ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව අතර ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීමට ද එකඟතාව පළ විය. ඒ යටතේ අභ්‍යවකාශය පදනම් කරගත් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති (Space-based early-warning systems) සංවර්ධනය කිරීමටත්, දෙරටේ හමුදා රඳවා ගැනීම් සරල කිරීමටත් තීරණය කර ඇත. යුක්රේන සහ මැදපෙරදිග යුද්ධ හේතුවෙන් මතුව ඇති යුද සම්පත් හිඟය මගහරවා ගැනීම සඳහා සැපයුම් දාමයන් විවිධාංගීකරණය කිරීම ජර්මනියේ ප්‍රධාන ඉලක්කය වී තිබේ.













