බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ නීතිඥ බුද්ධික ගයාන් මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ සන්නද්ධ පිරිස පලායද්දී මාරවිල හන්දියේදී වෙනත් වාහනයක ගැටී අනතුරක් සිදුකර ඇති බව වාර්තා වේ. එම අනතුරින් පසුව ද සැකකරුවන් වාහනය නොනවත්වාම පලාගොස් ඇති අතර, ඔවුන් හෝ ඝාතනයට යොදාගත් වාහනය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැත.
කඩුවෙල අධිකරණයේ සිට ආපසු පැමිණෙමින් සිටි නීතිඥවරයා ඉලක්ක කර ‘කරන්දෙණියේ සුද්දා’ නැමැති පාතාල නායකයාගේ මෙහෙයවීමෙන් මෙම ප්‍රහාරය එල්ල වූ බවට සැක කෙරෙන අතර, සැකකරුවන් පලාගිය මාර්ගය ඔස්සේ පරීක්ෂණ පවත්වන ලෙස පොලිස් කණ්ඩායම්වලට උපදෙස් දී තිබේ. මාරවිල හන්දියේදී සිදුවූ අනතුරත් සමඟ සැකකරුවන්ගේ වාහනයට හානි සිදුව ඇති බැවින්, ඒ ඔස්සේ විමර්ශන කටයුතු කඩිනම් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මීට පෙර පළවූ වාර්තාවල නිවැරදිභාවය පිළිබඳව පොලිසිය තවදුරටත් තහවුරු කරමින් සිටින අතර, පලාගිය ප්‍රධාන සැකකරුවන් සොයා පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මකයි.














