පසුගිය දශක කිහිපය තුළ ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් අතුරින් වඩාත්ම භයානක සහ විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි පනත වන්නේ රජය විසින් හඳුන්වා දීමට නියමිත නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Anti-Terrorism Act) බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි. අද (12) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම්පත හරහා මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ අවසානය සනිටුහන් වීමට ඉඩ ඇති බවයි. මෙය සැබවින්ම ජනතාව ආරක්ෂා කිරීමට ගෙන එන පනතක් නොව, පවතින රාජ්‍ය බලය ආරක්ෂා කරගැනීම සඳහා සකස් කරන ලද මර්දනකාරී උපකරණයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම යෝජිත පනත මඟින් ත්‍රස්තවාදය යන්නට ලබා දී ඇති අර්ථකථනය අතිශය පුළුල් සහ අපැහැදිලි එකක් බවත්, එමඟින් ඕනෑම සිවිල් විරෝධතාවක් හෝ රජයට එරෙහි මතවාදයක් “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හංවඩු ගැසීමට පාලකයින්ට අවස්ථාව ලැබෙන බවත් හිටපු මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දැඩි ලෙස සීමා කෙරෙන මෙවැනි නීති සම්පාදනය කිරීම මඟින් රටේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙනු ඇති බවට මහාචාර්ය ජී.එල්. පීරිස් අනතුරු ඇඟවීය.














