ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු හටගත් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම්වල කොටස් මිල ගණන් සඳුදා (02) දින විශාල වශයෙන් පහත වැටී තිබේ. හොංකොංහි කැතේ පැසිෆික් (Cathay Pacific) සහ ඕස්ට්‍රේලියාවේ ක්වාන්ටාස් (Qantas) සමාගම්වල කොටස් මිල 5%කට වඩා පහළ බැස ඇති අතර, යුරෝපයේ ලුෆ්තන්සා (Lufthansa) සහ TUI සමාගම්වල කොටස් මිල 12%ක පමණ දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කරයි. ඉන්ධන මිල ඉහළ යාම, ගුවන් ගමන් අවලංගු වීම සහ විකල්ප ගුවන් මාර්ග භාවිත කිරීමට සිදුවීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතු වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින අනාරක්ෂිත බව නිසා ලොව කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථාන වන ඩුබායි සහ දෝහා ගුවන්තොටුපළවල් අඛණ්ඩව තෙවන දිනටත් වසා දමා ඇත. මේ හේතුවෙන් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත මගීන් අතරමංව සිටින අතර, ගුවන් සමාගම් රැසක් සිය මැදපෙරදිග ගමනාන්තයන් තාවකාලිකව අත්හිටුවා තිබේ. විශේෂයෙන්ම ඉන්දීය ගුවන් සමාගම් මේ නිසා දැඩි පීඩනයකට ලක්ව ඇත්තේ මැදපෙරදිග වෙසෙන ඉන්දීය ශ්‍රමිකයන් විශාල පිරිසක් සිය සේවාවන් මත යැපෙන බැවිනි. එයාර් ඉන්ඩියා සමාගම සිය ඩුබායි, දෝහා සහ රියාද් ඇතුළු ගුවන් වාර රැසක් අවලංගු කර ඇති අතර, ඇමෙරිකාව බලා යන ගුවන් යානා ඉන්ධන ලබාගැනීම සඳහා රෝමය වැනි නගරවල නතර කිරීමට ද සිදුව ඇත.
ගුවන් තොටුපළවල් තුළ මගීන් දැඩි අසීරුතාවට පත්ව සිටින අතර, බොහෝ දෙනෙකුට සිය ගුවන් ගමන් පිළිබඳ නිසි තොරතුරු ලබා ගැනීමට පවා නොහැකි වී තිබේ. ඇතැම් ගුවන් යානා අහසේ පියාසර කරමින් තිබියදී ගුවන් සීමා වැසීම නිසා යළි හරවා එවීමට ද පියවර ගෙන ඇත. මේ අතර, මැදපෙරදිග කලාපයේ බොරතෙල් නැව්වලට පවා ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල 7%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය ඉදිරි දිනවලදී ගුවන් ටිකට්පත් මිල ඉහළ යාමට ද බලපානු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.















