ලොව පුරා පවතින යුදමය ගැටුම් සහ භූ-දේශපාලනික නොසන්සුන්තාවන් හේතුවෙන් ගෝලීය රජයන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය උපරිම මට්ටමකට පැමිණ ඇති බව නවතම රොයිටර් ආර්ථික විශ්ලේෂණ වාර්තා කරයි. විශේෂයෙන්ම ඇමරිකාව සහ චීනය අතර පවතින බල අරගලය මෙන්ම යුක්රේනය හා ඉරානය කේන්ද්‍ර කරගත් යුද්ධයන් හමුවේ රටවල් තම ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර, මෙය දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ණය බර දැවැන්ත ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය ලබන වසරේදී තම ආරක්ෂක වියදම් ඩොලර් ට්‍රිලියන 1.5 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර, යුරෝපීය නේටෝ රටවල් ද තම ආරක්ෂක වියදම් 5% දක්වා වැඩිකිරීමට සැලසුම් කර ඇත.
ඇමරිකාව, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජපානය වැනි ප්‍රබල රටවල මුළු ණය ප්‍රමාණය මේ වන විටත් ඔවුන්ගේ වාර්ෂික ආර්ථික නිෂ්පාදිතය ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි. රුසියාව යුක්රේන යුද්ධය සඳහා තම ජාතික ධන අරමුදල් ක්ෂය කරමින් සිටින අතර, අරාබි රටවලට ද ඉරාන තර්ජන හමුවේ ආරක්ෂක වියදම් සඳහා වැඩිපුර වැය කිරීමට සිදුව ඇත. මීට අමතරව ජනගහනය වයස්ගත වීම සහ ආගමන විගමන සීමා වැනි සාධක ද මෙම ආර්ථික පසුබෑමට බලපා තිබේ.
මෙම ණය කළමනාකරණය අතින් චීනය වැනි රටවල් යම් ස්ථාවර මට්ටමක පසුවන බව විශ්ලේෂකයෝ පවසන අතර, පවතින ණය අර්බුදය හමුවේ ලොව මෙතෙක් පැවති ඩොලරයේ ආධිපත්‍යය බිඳවැටීමේ අවදානමක් මතුව ඇත. ඒ වෙනුවට යුරෝ, චීන යුවාන් (Yuan) හෝ ක්‍රිප්ටෝ මුදල් (Crypto) ඒකකවල නැගීමක් ඉදිරි කාලයේදී අපේක්ෂා කළ හැකි බව මෙම වාර්තාව වැඩිදුරටත් අනතුරු අඟවයි.














