සති හතරකට ආසන්න කාලයක් තිස්සේ පවතින ඉරාන-ඇමෙරිකානු යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ ආර්ථිකයන් රැසක් දැඩි පසුබෑමකට ලක්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. බලශක්ති මිල ඉහළ යාම සහ පවතින අවිශ්වාසය හේතුවෙන් ව්‍යාපාරික කටයුතු අඩාල වී ඇති අතර, මෙය ලෝක උද්ධමනය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් ලෝක බලශක්ති සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ඇණහිටීම මෙම අර්බුදයට ප්‍රධානතම හේතුවයි.
ඇමෙරිකාව, යුරෝපය සහ ජපානය යන රටවල සිදුකරන ලද ව්‍යාපාරික සමීක්ෂණ (PMI) මගින් පෙනී යන්නේ නිෂ්පාදන සහ සේවා අංශවල වර්ධනය වේගයෙන් පහත වැටෙමින් පවතින බවයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ නිෂ්පාදන පිරිවැය 1992 වසරෙන් පසු වාර්තා වූ වේගවත්ම අගයෙන් ඉහළ ගොස් ඇති අතර, ඉන්දියාවේ පෞද්ගලික අංශයේ වර්ධනය වසර තුනකින් පසු වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී ඇත. ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම නිසා ජීවන පිරිවැය ඉහළ යාම පාලනය කිරීමට ලොව පුරා මධ්‍යම බැංකු සිය පොලී අනුපාත ඉහළ නැංවීමට ද මේ වන විට අවධානය යොමු කර තිබේ.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග බලශක්ති යටිතල පහසුකම්වලට සිදුව ඇති හානිය හේතුවෙන් මෙම ආර්ථික බලපෑම කෙටි කාලීන නොවනු ඇති බවයි. බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 150 සීමාව ඉක්මවා ගියහොත් ලෝක ආර්ථිකය දැඩි අවපාතයකට (Recession) ලක්වීමේ අවදානමක් පවතින බවට ද ඔවුහු අනතුරු අඟවති.














