මෑත සති කිහිපය තුළ පැන නැගී ඇති ගෝලීය අර්බුදකාරී තත්ත්වය හමුවේ ලොව පුරා රටවල් රැසක ඉන්ධන මිල 20% ඉක්මවා ඉහළ දමා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මාර්තු මාසය තුළ කාම්බෝජය 68%කින් ද, වියට්නාමය 50%කින් ද, ලාඕසය 33%කින් සහ කැනඩාව 28%කින් තම රටවල ඉන්ධන මිල ඉහළ නංවා ඇත. මීට අමතරව පෝටෝ රිකෝ (25%), පාකිස්ථානය (23%), සැන් මරීනෝ (22%), සිංගප්පූරුව (21%) සහ ස්පාඤ්ඤය (21%) යන රටවල් ද මිල සංශෝධනයන්ට යොමු වී ඇති අතර නයිජීරියාවේ මිල ඉහළ යාම 5%ක් ලෙස සටහන් වේ.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, ඉරාන බොරතෙල් සඳහා පනවා ඇති සම්බාධක දින 30ක කාලයකට ලිහිල් කිරීමට ඇමරිකාව තීරණය කර ඇත. මෙම සහනය දැනටමත් නැව්ගත කර ඇති බොරතෙල් තොග සඳහා පමණක් බලපැවැත්වෙන බව ඇමරිකානු නිවේදනයේ දැක්වේ. මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සඳහන් කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ජපානයට සම්බන්ධ නෞකාවන්ට ගමන් කිරීමට අවසර ලබා දීම සඳහා ජපානය සමඟ සාකච්ඡා පවත්වන බවයි. කෙසේ වෙතත් ජපාන රජයේ බලධාරීන් පෙන්වා දෙන්නේ ජපාන නෞකාවන්ට අවසර ලැබුණද එය ගෝලීය බලශක්ති අර්බුදය විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.
දැනට පවතින වෙළඳපොළ දත්ත අනුව බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 සීමාවේ පවතී. ඇමරිකාවේ WTI බොරතෙල් බැරලයක් ඩොලර් 98.23ක් දක්වා ද, බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 112.19ක් දක්වා ද ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොරතෙල් බැරලයක මිල 18%කින් ඉහළ ගොස් ඩොලර් 146.40ක් ලෙස සටහන් වී තිබේ. එහෙත් ස්වභාවික ගෑස් ඒකකයක මිල 2.24%ක සුළු පහත වැටීමක් පෙන්වමින් ඩොලර් 3.09ක් ලෙස වාර්තා වේ.














