මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන සටන් විරාමය ස්ථාවර වනු ඇති බවට සහ තෙල් ප්‍රවාහනය නැවත ආරම්භ වනු ඇති බවට පවතින විශ්වාසය මත අද (10) වන විට ඇමරිකානු ඩොලරයේ අගය පසුගිය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ විශාලම සතිපතා පහත වැටීමට මුහුණ දී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත තීරණාත්මක සාම සාකච්ඡා කෙරෙහි දැන් ලෝක වෙළඳපොළේ අවධානය යොමුව ඇත.
පසුගිය මාර්තු මාසයේදී යුද වාතාවරණය හේතුවෙන් ඩොලරය ශක්තිමත් වී තිබුණද, සටන් විරාමයත් සමඟ ආයෝජකයින් නැවතත් යුරෝ (€), ස්ටර්ලින් පවුම් (£) සහ ඕස්ට්‍රේලියානු ඩොලර් වැනි මුදල් ඒකක වෙත යොමු වෙමින් පවතී. මෙම සතිය තුළ ඩොලර් දර්ශකය 1.3% කින් පහත වැටී ඇත. මේ අතර, යුද්ධය මධ්‍යයේ වුවද චීන යුවාන් (¥) මුදල් ඒකකය 2023 වසරෙන් පසු සිය ප්‍රබලම අගය වාර්තා කර තිබීම විශේෂත්වයකි.















