ඇමෙරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් ජූනි මාසය දක්වා දිගු වුවහොත්, ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඇමෙරිකානු ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බව මැකවරි සමූහයේ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දිගුකාලීනව වසා තැබීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වනු ඇතැයි අද (මාර්තු 27) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108ක් පමණ වන අතර, මෙම මස මුලදී එය උපරිම වශයෙන් ඩොලර් 119.50 දක්වා ඉහළ ගියේය. පර්යේෂකයන්ට අනුව මෙම යුද්ධය ජූනි මාසය දක්වා ඇදී යාමේ සම්භාවිතාව 40%ක් වන අතර, මාර්තු මස අවසානයේදී යුද්ධය නිමාවට පත්වීමේ 60%ක සම්භාවිතාවක් ද පවතී. කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය දිගුකාලීනව වසා තැබුවහොත් ලෝක තෙල් ඉල්ලුමට සහ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවිය හැකි බව ඔවුහු අවධාරණය කරති.
මැදපෙරදිග කලාපයේ පවතින මෙම අස්ථාවරත්වය හේතුවෙන් මාර්තු මාසය තුළ බොරතෙල් මිලෙහි වාර්තාගත මාසික වර්ධනයක් දක්නට ලැබෙන අතර, මෙය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන රටවලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.















