මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් පසුගිය දිනවල ශීඝ්‍රයෙන් ඉහළ ගිය ලෝක තෙල් මිල, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය ඉක්මනින් අවසන් විය හැකි බවට කළ ප්‍රකාශයත් සමඟ අඟහරුවාදා (10) 7%කින් පමණ පහත වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 7.15කින් (7.2%) පහත වැටී ඩොලර් 91.81ක් ලෙසත්, ඇමෙරිකානු WTI බොරතෙල් මිල ඩොලර් 6.26කින් (6.6%) පහත වැටී ඩොලර් 88.51ක් ලෙසත් සටහන් විය.
පසුගිය සඳුදා බොරතෙල් බැරලයක මිල ඩොලර් 119ක් දක්වා ඉහළ ගියේ වසර තුනකට පසු වාර්තා වූ ඉහළම මිල සටහන් කරමිනි. කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකථන සාකච්ඡාවකදී යුද්ධය සමනය කිරීමේ යෝජනා ඉදිරිපත් වීම සහ ඇමෙරිකානු උපායමාර්ගික සංචිතවලින් තෙල් මුදාහැරීමට ඇති සූදානම පිළිබඳ වාර්තා වීමත් සමඟ වෙළඳපොළේ පැවති තීව්‍ර නොසන්සුන්තාවය යම් පාලනයකට නතු වී ඇත. ඉරානයට එරෙහි යුද්ධය තමන් අපේක්ෂා කළ කාලයට වඩා වේගයෙන් අවසන් වෙමින් පවතින බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණද, ඉරාන බලධාරීන් පවසන්නේ යුද්ධය අවසන් වන ආකාරය තීරණය කරන්නේ තමන් බවයි.














