මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය සහ දේශපාලනික නොසන්සුන්තාව හමුවේ ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල අද (16) උදෑසන කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භයේදී තෙල් මිල 3% කට වඩා වැඩි අගයකින් ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක් අවස්ථාවක ඇමරිකානු ඩොලර් 106.50 දක්වා ඉහළ ගියේය.
කෙසේ වෙතත්, මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103 ක මට්ටමේ ස්ථාවර වී ඇති බව වාර්තා වේ. මීට අමතරව, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 98 ක අගයක පවතී. ගෝලීය බලශක්ති සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති තර්ජන සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳ මතු වී ඇති ගැටලු මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලෝක වෙළඳපොළේ තෙල් මිල මෙලෙස ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි රටවල දේශීය ඉන්ධන මිල කෙරෙහි ද ඉදිරියේදී සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














