ලෝක මට්ටමින් ත්‍රස්තවාදය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව දශකයකට පසු අවම මට්ටමකට පහළ බැස තිබුණද, අප්‍රිකානු කලාපයේ නයිජීරියාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) තුළ ජිහාඩ් ප්‍රචණ්ඩත්වය පසුගිය වසරේදී (2025) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරයි. ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය (IEP) විසින් නිකුත් කරන ලද ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව, 2025 වසරේදී ලොව වැඩිම ත්‍රස්ත මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතර නයිජීරියාව සිව්වන ස්ථානයට පත්ව තිබේ.
නයිජීරියාවේ ත්‍රස්තවාදී මරණ සංඛ්‍යාව 2024 වසරේ පැවති 513 සිට 2025 වන විට 750 දක්වා 46% කින් ඉහළ ගොස් ඇත. ‘බොකෝ හරාම්’ (Boko Haram) සහ ‘ලකුරාවා’ (Lakurawa) වැනි අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය මෙන්ම විවිධ වාර්ගික මිලීෂියා කණ්ඩායම්වල ප්‍රහාර මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. කොංගෝ රාජ්‍යයේ ද ‘අයිඑස්’ (IS) හිතවාදී සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාර හේතුවෙන් මරණ සංඛ්‍යාව 28% කින් ඉහළ ගොස් ඇති අතර, එම රට දර්ශකයේ 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
මෙම තත්ත්වය ලෝකයේ සෙසු ප්‍රදේශවල පවතින ප්‍රවණතාවයට වඩා හාත්පසින්ම වෙනස් වේ. ගෝලීය වශයෙන් ත්‍රස්ත මරණ සංඛ්‍යාව 28% කින් පහළ බැස 5,582ක් ලෙස වාර්තා වී ඇති අතර, සමස්ත ප්‍රහාර සංඛ්‍යාව ද 22% කින් අඩු වී ඇත. බුර්කිනා ෆාසෝ රාජ්‍යය තුළ මරණ සංඛ්‍යාව අඩකින් පමණ අඩු වී ඇති අතර, එය ත්‍රස්තවාදී කණ්ඩායම් සිය උපක්‍රම වෙනස් කරමින් සිවිල් වැසියන් ඉලක්ක කිරීම අඩු කිරීමේ ප්‍රතිඵලයක් බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත්, බටහිර රටවල ත්‍රස්තවාදී මරණ සංඛ්‍යාව 280% කින් ඉහළ ගොස් ඇති අතර, තරුණ රැඩිකල්කරණය සහ තනි පුද්ගල ප්‍රහාර (lone-wolf actors) මෙහි කැපී පෙනෙන ලක්ෂණයකි.














