රට තුළ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අද (20) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී රජයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරන ලදී. එහිදී අදහස් දැක්වූ එම සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේ ඉදිරි පැය 48 ඇතුළත වෛද්‍යවරුන්ගේ ඉන්ධන ගැටලුවට නිශ්චිත විසඳුම් නොලැබුණහොත් ලබන සඳුදා සිට මුළු මහත් රෝහල් පද්ධතියම බිඳවැටීමේ අවදානමක් පවතින බවයි. වෛද්‍යවරයකුට දිනකට ලැබෙන ඉන්ධන ලීටර් දෙකක ප්‍රමාණය හදිසි ප්‍රතිකාර සඳහා දිවා රාත්‍රී නොබලා සේවයට වාර්තා කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, රජය කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබා දුන්නද අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව නිශ්ශබ්දව සිටීම කණගාටුවට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට එක් වූ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ මේ වන විටත් වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ සෙසු කාර්ය මණ්ඩලවලට රෝහල් වෙත වාර්තා කිරීමට නොහැකි වීම නිසා සෞඛ්‍ය සේවාවන් ක්‍රමයෙන් අඩාල වෙමින් පවතින බවයි. සාමාන්‍ය පිරවුම්හල්වලින් ලැබෙන ලීටර් 15ක සීමාව රාජකාරි අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන අතර, යම් හෙයකින් රෝගියකු මිය ගියහොත් එහි වගකීම රජය සහ අදාළ නිලධාරීන් භාරගත යුතු බව ඔහු අවධාරණය කළේය. වගකීම් ඉටු කිරීමට නොහැකි නම් එම තනතුරුවලින් ඉවත් වන ලෙස ද ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
පසුගියදා ආරම්භ කරන ලද ඉල්ලීම් 8ක් මුල් කරගත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, රජය වහාම මැදිහත් වී ඉන්ධන කෝටාව ඉහළ දැමීමට හෝ නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට අපොහොසත් වුවහොත් ලබන සඳුදා සිට රෝහල් සේවාවන් සීමා කිරීමට සිදු වන බව සංගමය අවසාන වශයෙන් ප්‍රකාශ කළේය. ඉතිහාසයේ කිසිදු අර්බුදයකදී රෝහල් පද්ධතිය මෙලෙස වැසී නොගිය බවත්, වත්මන් රජයට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ මෙවැනි අර්බුද කළමනාකරණය කිරීමට බවත් වෛද්‍යවරු මෙහිදී සිහිපත් කර සිටියහ.














